සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල ක්‍රීඩා (Gaming) වේදිකා හරහා ළමුන් ඉලක්ක කරගනිමින් මහා පරිමාණ ලිංගික අපයෝජනයන් සිදුකළ 27 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට එරෙහිව එරට පොලිසිය විසින් සිය ගණනක චෝදනා ගොනු කර තිබේ. ක්වීන්ස්ලන්ත පොලිසියට අනුව, මෙම පුද්ගලයා ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් 15ක වෙසෙන වයස අවුරුදු 7ත් 15ත් අතර පිරිමි දරුවන් 459 දෙනෙකු අපයෝජනයට ලක් කර ඇති අතර, ඔහුට එරෙහිව චෝදනා 596ක් ඉදිරිපත් කර ඇත. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මොහු අත්අඩංගුවේ පසුවන අතර, ඔහුගේ විද්‍යුත් උපාංග පරික්ෂා කිරීමේදී අපයෝජන ක්‍රියාවලට අදාළ වීඩියෝ සහ ඡායාරූප 23,000කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අපරාධකරු විසින් 2018 සහ 2025 අතර කාලය තුළ ව්‍යාජ ගිණුම් රැසක් භාවිතා කරමින් දරුවන් සමඟ සබඳතා ගොඩනගාගෙන (Grooming) ඔවුන්ව බියගන්වා ලිංගික දර්ශන ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි විය. වින්දිතයන් 459 දෙනාගෙන් 360 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉන් 200කට වැඩි පිරිසක් ඕස්ට්‍රේලියානුවන්ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනෙකු පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වන අතර, අන්තර්ජාලය ඔස්සේ දරුවන් දඩයම් කරන මෙවැනි පුද්ගලයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඕස්ට්‍රේලියානු බලධාරීන් දෙමාපියන්ට අනතුරු ඇඟවීමක් කර ඇත.












