පෞද්ගලික ඔසුසල් තුළ ඉන්දීය පිළිකා නාශක ඖෂධ ඉතා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන බවට ලැබී ඇති තොරතුරු මත ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
රජයේ රෝහල්වල, විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන් පෞද්ගලික අංශය වෙත යොමු වන අතර, එහිදී ලියාපදිංචි නොකළ ඖෂධ පවා අධික මිල ගණන්වලට අලෙවි වන බවට වෛද්‍ය සංගම් චෝදනා කරයි.
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කුමුදු බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ වෙළඳපොළ නිරීක්ෂණ කටයුතු දැඩි කර ඇති බවත්, කිසියම් ඔසුසලක් නියමිත මිල ඉක්මවා හෝ නීති විරෝධී ලෙස ඖෂධ අලෙවි කරන්නේ නම් ඔවුන්ට එරෙහිව වැටලීම් සිදුකර දැඩි නීතිමය පියවර ගන්නා බවත්ය.














