මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම සහ ඊට ඇබ්බැහි වීම හේතුවෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. තණමල්විල ප්‍රදේශයේ පැවති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පොලිසියේ සංඛ්‍යාව අඩු වුවද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ ඊට ඇබ්බැහි වූවන් පොලිස් සේවයේ තබා නොගන්නා බවත්, ඔවුන් සේවයෙන් පහ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත්ය. පසුගියදා ද මත්ද්‍රව්‍ය ග්‍රෑම් 700ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බවත්, නිල ඇඳුම පසෙක තබා ඔවුන්ට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්පතිවරයා අවධාරණය කළේය.
පොලිසියට අමතරව අනෙකුත් රාජ්‍ය ආයතනවල සහ ත්‍රිවිධ හමුදාවේ ද ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී හෝ ඊට ඇබ්බැහි වී සිටින බව මෙහිදී හෙළි විය. මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ අතර පවතින සෘජු සම්බන්ධතාවය මෙන්ම සමාජය තුළ ගිනි අවි සංසරණය වීම පිළිබඳව ද අදහස් දැක්වූ පොලිස්පතිවරයා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ ඔවුන් සමඟ සබඳතා පවත්වන නිලධාරීන් පිළිබඳ තොරතුරු ඕනෑම වේලාවක තමා වෙත සෘජුවම දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා තමාගේ ජංගම දුරකතනය පැය 24 පුරාම මහජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය














