මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ක්‍රියාත්මක වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම සහ අපරාධ මර්දන විශේෂ මෙහෙයුම් යටතේ පසුගිය 23 වනදා සිදුකළ දැවැන්ත වැටලීම් මාලාවකදී සැකකරුවන් 1415 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මෙම මෙහෙයුම්වලදී හෙරොයින් ග්‍රෑම් 246ක්, අයිස් ග්‍රෑම් 385ක්, ගංජා කිලෝ 7කට අධික ප්‍රමාණයක් සහ ගංජා පැළ 15,000කට වඩා වැඩි සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව මෝදක කිලෝ 14ක්, මාවා කිලෝ 3ක් සහ මත්පෙති 500කට අධික ප්‍රමාණයක්ද සොයාගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකුට එරෙහිව විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් සැකකරුවන් 11 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරන අතර තවත් 11 දෙනෙකු පුනරුත්ථාපන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත. එදිනම ක්‍රියාත්මක වූ අපරාධ නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයන් 29,003 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී වරෙන්තුකරුවන් 473 දෙනෙකු සහ බීමත් රියැදුරන් 296 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කරන්නේ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4398 දෙනෙකු හඳුනාගෙන ඇති අතර අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයන් 13 දෙනෙකුද මෙම මෙහෙයුම් මගින් කොටු කරගත් බවයි.














