2025/2026 මහ කන්නයේදී සිදුවූ වගා හානි වෙනුවෙන් වන්දි මුදල් නිදහස් කිරීමේ මූලික පියවරක් ලෙස, හානි පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි. දිස්ත්‍රික් කාර්යාලවල ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය විසින් අදාළ වගා බිම් වෙත ගොස් මෙම පරීක්ෂණ පවත්වනු ලබයි.
විශේෂයෙන්ම පොළොන්නරුව, බදුල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සිදුව ඇති වගා හානි පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා දැනටමත් ප්‍රමුඛතාව ලබා දී ඇති අතර, එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිතය. මෙම ක්ෂේත්‍ර පරීක්ෂණවලින් අනතුරුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් ලබා ගැනීමට නියමිතව තිබේ.
සත්‍ය වශයෙන්ම වගා හානි සිදුවූ ගොවීන් හඳුනා ගැනීමෙන් පසු, නිර්දේශිත වාර්තා පදනම් කරගනිමින් කඩිනමින් අදාළ වන්දි මුදල් ගෙවීමට පියවර ගන්නා බව එම මණ්ඩලය වැඩිදුරටත් සහතික කරයි. පවතින අයහපත් කාලගුණය සහ අනෙකුත් බලපෑම් හේතුවෙන් පීඩාවට පත් ගොවි ජනතාවට මෙයින් සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.













