2026 වසරේ එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ඇමෙරිකානු ඩොලර් 8,764,615 ක වාර්තාගත මුළු ත්‍යාග මුදලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය 2024 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරඟාවලියේ ත්‍යාග මුදලට වඩා 10% ක වැඩිවීමකි. මෙවර තරඟාවලිය සඳහා පළමු වරට කණ්ඩායම් 12 ක් සහභාගී වීම විශේෂත්වයකි.
තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ඇමෙරිකානු ඩොලර් 2,340,000 ක් සහ අනුශූරයන්ට ඩොලර් 1,170,000 ක් හිමිවන අතර, සහභාගී වන සෑම කණ්ඩායමකටම අවම වශයෙන් ඩොලර් 247,500 ක මුදලක් සහතික කර ඇත. තරඟාවලිය ජුනි 12 වනදා බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟයෙන් ආරම්භ වේ. ලෝක කුසලාන ශූරතාව වෙනුවෙන් පිරිනමන කුසලානය යුරෝපයේ සහ සත්කාරක නගරවල ප්‍රදර්ශනය කිරීමේ විශේෂ චාරිකාව ද (Trophy Tour) අද දිනයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙන් ආරම්භ විය.














