2026 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය සමනය කර, පොදු එකඟතාවයකින් යුත් නැකැත් සීට්ටුවක් රටට ඉදිරිපත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා (මාර්තු 16) කැඳවීමට තීරණය කර තිබේ. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2024 වසරේ සිට නැකැත් කමිටුව තුළ පැවති විවිධ මතභේද හේතුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව විසුරුවා හැරීමට මීට පෙර පියවර ගෙන තිබුණි. 2026 වසර සඳහා නැකැත් සම්පාදනය කිරීමට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වී ඇති අතර, මීට පෙර අවස්ථා හතරකදී ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වුවද මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණීමට හැකියාවක් ලැබී නැත.
මෙම අර්බුදය හේතුවෙන් ජනතාව අතර පවතින අවිශ්වාසය දුරු කර, මෙරට සංස්කෘතික වටිනාකම් සුරැකෙන පරිදි විද්‍යානුකූල සහ සාම්ප්‍රදායික පදනමකින් නැකැත් සකස් කිරීම අමාත්‍යාංශයේ අරමුණයි. ලබන සඳුදා පැවැත්වෙන සාකච්ඡාවේදී පාර්ශවයන් අතර පවතින ගැටලු නිරාකරණය කර අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කෙරේ.













