ශ්‍රී ලංකාවේ පෙරපාසල් අධ්‍යාපන පද්ධතිය උසස් ප්‍රමිතියකට රැගෙන ඒම සඳහා 2027 වසරේ සිට නව පෙරපාසල් විෂය මාලාවක් හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. හම්බන්තොට ප්‍රදේශයේ පැවැති පෙරපාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
නව විෂය මාලාවට සමගාමීව පෙරපාසල් ගුරුවරුන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමටත්, නියාමන අධිකාරියක් හරහා මෙරට පෙරපාසල් ක්‍රියාවලිය විධිමත් කිරීමටත් රජය පියවර ගන්නා බව ඇය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය. දරුවෙකුගේ මූලික අධ්‍යාපන අවධිය වඩාත් විද්‍යාත්මක සහ ක්‍රමවත් පදනමක් මත ගොඩනැගීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.














