මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ ඉරාන ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් ඇමෙරිකානු සේවා සාමාජිකයින් 232 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තුවාල ලැබූවන්ගෙන් බහුතරයකට කම්පන සහගත මොළයේ තුවාල (Traumatic Brain Injuries) ඇති බවට හඳුනාගෙන ඇති අතර, මෙය නවීන යුද බිමේ පවතින ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවල ප්‍රතිඵලයක් බව ආරක්ෂක විචාරකයෝ පෙන්වා දෙති.
තුවාල ලැබූවන්ගෙන් 207 දෙනෙකු මේ වන විට සුවය ලබා නැවත රාජකාරියට වාර්තා කර ඇති නමුත්, සේවා සාමාජිකයින් 10 දෙනෙකු තවමත් බරපතල තුවාල ලැබූවන් ලෙස ලැයිස්තුගත කර තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය සහ ඒ අවට කලාපය තුළ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා මෙහෙයුම් දැඩි කර ඇති පසුබිමක, මෙම පිරිස් හානිය ඇමෙරිකානු දේශපාලන ක්ෂේත්‍රය තුළ ද දැඩි කතාබහට ලක්ව ඇත. විශේෂයෙන්ම ජනාධිපති ට්‍රම්ප් විසින් නේටෝ රටවල සහාය ඉල්ලා සිටින අවස්ථාවක මෙවැනි තොරතුරු වාර්තා වීම තීරණාත්මක වේ.














