මෙරට සිනමාවේ අසහාය නළුවෙකු, මානව හිතවාදියෙකු සහ දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංග මහතා ඝාතනය කර අදට (පෙබරවාරි 16) වසර 38ක් සපිරේ. 1988 පෙබරවාරි මස 16 වන අඟහරුවාදා දින මධ්‍යහ්න 12:20ට පමණ සිය නිවස ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කළ ටී-56 ප්‍රහාරයකින් ඒ මහතා ජීවිතක්ෂයට පත්විය. අතිශය කර්කශ ලෙස හිස ප්‍රදේශයට එල්ල වූ එම වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ මෘත දේහයේ හිස කොටස ආවරණය කර තැබීමට පවා සිදුවූ අතර, එම දිනය මෙරට ඉතිහාසයේ “අඳුරු අඟහරුවාදා” ලෙස සටහන් විය.
සිනමා පට 114ක ප්‍රධාන චරිත නිරූපණය කළ විජය කුමාරතුංගයන්, ‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙන් සිය රංගන දිවිය අරඹා ‘බඹරු ඇවිත්’, ‘ගඟ අද්දර’, ‘බැද්දේගම’ සහ ‘කැඩපතක ඡායා’ වැනි සම්භාව්‍ය කෘති හරහා ජනතා හදවත් දිනාගත්තේය. 1983 සිට 1988 දක්වා නොකඩවා සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය දිනාගනිමින් ඔහු තැබූ වාර්තාව මෙතෙක් බිඳ හෙළීමට කිසිවෙකුත් සමත්ව නැත. රංගනයට අමතරව දක්ෂ පසුබිම් ගායකයෙකු වූ ඔහු, සිය ගීත මගින් උපයන කිසිදු මුදලක් පෞද්ගලික පරිහරණයට නොගැනීම ඔහුගේ මානව හිතවාදී ගුණයට කදිම නිදසුනක් විය.
දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කළ ඔහු, 1982 ජනාධිපතිවරණ සමයේ නක්සලයිට් චෝදනා මත සිරගත කරනු ලැබීය. 1986 වසරේදී උතුරේ බෙදුම්වාදී යුද්ධය පැවති සමයේ කොටි සංවිධානයේ තරුණ නායකයින් හමුවීමට යාපනයට ගොස් දකුණේ සහ උතුරේ ජනතාව අතර සහෝදරත්වය ගොඩනැගීමට ඔහු ගත් නිර්භීත උත්සාහය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ විජය කුමාරතුංගයන්ගේ අවමංගල්‍ය උත්සවය මෙරට රූපවාහිනී ඉතිහාසයේ සජීවීව විකාශය කළ පළමු අවමංගල්‍ය උත්සවය ලෙස වාර්තා විය.














