ශ්‍රී ලංකාවේ බිහිවූ අසහාය ව්‍යාපාරික නායකයෙකු මෙන්ම උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ද වන උපාලි විජයවර්ධන මැතිතුමාගේ 43 වැනි ගුණ සමරුව අදට (පෙබරවාරි 13) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාරයේ සේවක සේවිකාවන්, අලෙවි නියෝජිතයන් සහ හිතවතුන් එක්ව දිවයින පුරා ආගමික වතාවත් සහ පුණ්‍යකර්ම රැසක් සංවිධානය කර ඇත. අද උදෑසන මට්ටක්කුලිය දේවස්ථානයේ පැවති දිව්‍ය පූජාවකින් සහ කැලණිය රජමහා විහාරයේ ධාතු මන්දිරයට බුද්ධ පූජාව පිරිනැමීමෙන් මෙම ගුණසමරු වැඩසටහන් ආරම්භ වූ අතර, කැලණිය හෙලේනා විජයවර්ධන විදුහලේ ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් 10 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ගුණසමරු වැඩසටහන් මාලාව යටතේ අද දහවල් මහා සංඝරත්නය උදෙසා දානමය පුණ්‍යකර්මයක් පැවැත්වෙන අතර, සවස 6.00ට කැලණිය රජමහා විහාරයේදී මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි විශේෂ බෝධි පූජා සහ පහන් පූජා පිංකමක් ද පැවැත්වීමට නියමිතය. මීට අමතරව සාමාජීය සත්කාරක වැඩසටහන් ලෙස ජාඇළ බෝයිස් ටවුන් ළමා නිවාසයට සහ මහනුවර මුල්ගම්පොල වැඩිහිටි නිවාසයට දිවා ආහාරය ලබාදීමේ කටයුතු ද සංවිධානය කර ඇත. කුණ්ඩසාලේ සිලෝන් චොක්ලට් කර්මාන්තශාලා පරිශ්‍රයේදී බෝධි පූජාවක් සහ කවි බණ දේශනයක් ද සවස 4.30ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
දිවයින පුරා විසිරී සිටින උපාලි සමූහ ව්‍යාපාරයේ ශාඛා සහ නියෝජිතයන් ද සිය නිර්මාතෘවරයා වෙනුවෙන් ගෞරවය පුද කිරීමට එක්ව සිටිති. ඒ අනුව සපුගොඩ, කඹුරුපිටිය, රත්නපුර මහා සමන් දේවාලය, විසානිකේත පිරිවෙන සහ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ මහා විහාරය යන ස්ථානයන්හි විශේෂ බෝධි පූජා පින්කම් පැවැත්වේ. එසේම හෝමාගම ගලවිලවත්ත උපාලි කර්මාන්ත සංකීර්ණ පරිශ්‍රයේ රෝපණය කර ඇති බෝධීන් වහන්සේ අභියසදී සියලු සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් අද පස්වරු 3.00ට පවත්වන පුණ්‍යානුමෝදනා පිංකම ද ප්‍රධාන තැනක් ගනී. උපාලි විජයවර්ධන මැතිතුමා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ පුවත්පත් කලාවේ සිදු කළ විප්ලවීය වෙනසට උපහාර පිණිස මෙම ගුණසමරු වැඩසටහන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.














