රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 138ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ අදාළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරු අද (18) අලුයම පිහිඹියගොල්ලෑව පොලිස් වසමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවය.
ඔහු සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණකයක්, ස්කෑන් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද සොයාගෙන ඇත.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, 2025.09.17 වන දින සවස් කාලයේ හබරණ පොලිස් වසමේ හබරණ නගරයේදී පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කර ඔහු සන්තකයේ තිබී රුපියල් 5000/= ව්‍යාජ මුදල් නෝට්ටු 03ක් සොයාගෙන තිබූ බවය.
එම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර අනාවරණය වූ තොරතුරු මත හබරණ සහ අනුරාධපුර යන ප්‍රදේශවලදී තවත් රුපියල් 5000/= ව්‍යාජ නෝට්ටු 02 බැගින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී හෙළිකරගත් වැඩිදුර තොරතුරු අනුව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 42ත් අතර වයස්වල පසුවන හබරණ, අනුරාධපුරය සහ පෑදෑව ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දෛනික අවශ්‍යතා අනුව භාණ්ඩ මිලදී ගැනීමේදී හා විවිධ ගනුදෙනු සඳහා මුදල් පරිහරණය කිරීමේදී එම මුදල් ව්‍යාජ මුදල් නෝට්ටු ද යන්න පිළිබඳව සුපරීක්ෂාකාරීව හා සැලකිලිමත්ව අවධානයෙන් යුතුව තහවුරු කරගැනීමෙන් පසු, මුදල් නෝට්ටු පරිහරණය කිරීමටත්, එවැනි ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගන්නා හෝ ගනුදෙනු කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලද වහාම ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කරන ලෙසටත් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
- අද දෙරණ