ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව 2025 වර්ෂයේ මුල් මාස නවය තුළ පමණක් මහජන පැමිණිලි 5,504ක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නවතම ප්‍රගති වාර්තාවක සඳහන් වේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘118’ ජාතික සේවා මැදිරිය වෙත මෙම පැමිණිලි යොමු කර තිබේ. පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සහ පොලිස් ස්ථාන මගින් නිසි ලෙස විමර්ශනය නොකළ පැමිණිලි සම්බන්ධයෙන් මහජනතාව මෙලෙස සිය විරෝධය පළ කර ඇත.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම සඳහා අදාළ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත තොරතුරු යොමු කර ඇති බව වාර්තාවේ දැක්වේ. ලැබී ඇති සියලු පැමිණිලි සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන කටයුතු සහ අදාළ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි. පොලිස් සේවයේ විනිවිදභාවය සහ මහජන විශ්වාසය තහවුරු කිරීම මෙම වැඩපිළිවෙලෙහි මූලික අරමුණ වී තිබේ.
















