ඉන්දියාවේ මුම්බායි-පූනේ අධිවේගී මාර්ගයේ ඇති වූ දැවැන්ත රථවාහන තදබදයක් හේතුවෙන් සිය ගුවන් යානය මගහැරී අතරමංව සිටි ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සාමාජිකාවන් 69 දෙනෙකු රජයේ විශේෂ මැදිහත්වීම මත පෙබරවාරි (05) දින ආරක්ෂිතව දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ.
මුම්බායි හි සිරවී සිටි බාලදක්ෂිකාවන් පිරිස රජයේ මැදිහත්වීමෙන් යළි දිවයිනට
ඉන්දියාවේ පූනේ හි පිහිටි ‘සංගම් ලෝක මධ්‍යස්ථානයේ’ සංචාරයකින් පසු පෙබරවාරි 03 වන දින UL 142 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට නියමිතව සිටි මෙම පිරිසට, අධිවේගී මාර්ගයේ සිදුවූ ගෑස් ටැංකි රථ අනතුරක් හේතුවෙන් ඇතිවූ පැය 12ක තදබදය නිසා ගුවන් යානය මගහැරී තිබුණි. බාලදක්ෂිකාවන් 45ක්, ගුරුවරුන් 11ක් සහ නායිකාවන් 13 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම මුම්බායි හි භාරත් බාලදක්ෂ මධ්‍යස්ථානයේ තාවකාලිකව රැඳී සිටියහ.
ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය කළ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්ම මහත්මීන්ගේ සෘජු සම්බන්ධීකරණයෙන් ඉන්දීය රජය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව මෙම මෙහෙයුම සාර්ථකව නිම කළහ. යළි දිවයිනට පැමිණි පිරිස පිළිගැනීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර සහ රුවන් රණසිංහ යන මහත්වරුන් කටපුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.














