මරණීය දණ්ඩනය නියම වූ දේශීය හා විදේශීය සිරකරුවන් 817 දෙනෙකු මේ වන විට මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිකුත් කළ 2025 ප්‍රගති වාර්තාවේ සඳහන් වේ. 2025 සැප්තැම්බර් 30 වන විට ලැබී ඇති දත්ත වලට අනුව, මෙම පිරිසෙන් 811 දෙනෙකු දේශීය සිරකරුවන් වන අතර ඔවුන්ගෙන් 792 දෙනෙකු පිරිමි පුද්ගලයන් සහ 19 දෙනෙකු කාන්තාවන් වේ. මීට අමතරව විදේශීය සිරකරුවන් 05 දෙනෙකු සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ එක් සිරකරුවෙකු ද මරණීය දණ්ඩනය නියම වූවන් අතර වේ.
මෙම වාර්තාවට අනුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන් 73 දෙනෙකු ද බන්ධනාගාරගතව සිටිති. ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බැවින්, මෙම සිරකරුවන් දිගුකාලීනව බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා තබා ගැනීමට සිදුව ඇත. මෙය බන්ධනාගාර තදබදය කෙරෙහි ද සෘජුව බලපාන කරුණක් බව නිරීක්ෂණය වේ.














