තොරතුරු යාවත්කාලීන නොකිරීම හේතුවෙන් දිළිඳු සහ අන්ත දිළිඳු කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන් 85,156 දෙනෙකුට සිය අස්වැසුම ප්‍රතිලාභය අහිමිවීමේ බරපතළ අවදානමක් උද්ගතව ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අනාවරණය කරයි. මෙම තොරතුරු යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළ හෙටින් එනම් පෙබරවාරි 20 වනදායින් අවසන් වන අතර, අන්ත දිළිඳු කාණ්ඩයේ පුද්ගලයින් 28,608ක් සහ දිළිඳු කාණ්ඩයේ පුද්ගලයින් 56,548ක් මෙතෙක් සිය තොරතුරු තහවුරු කර නොමැති බව එම මණ්ඩලයේ සභාපති නිමල් කොටවෙලගෙදර මහතා ප්‍රකාශ කළේය.
ප්‍රතිලාභීන්ට සිය තොරතුරු මාර්ගගත ක්‍රමයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා, විදාතා සම්පත් මධ්‍යස්ථාන මගින් හෝ තැපෑලෙන් යොමු කිරීම හරහා යාවත්කාලීන කිරීමට අවස්ථාව පවතින අතර එසේ නොකරන පුද්ගලයින්ට මීළඟ දීමනා ගෙවීමේ ක්‍රියාවලියේදී මුදල් ලබාදීම නතර වනු ඇත. රජය විසින් අන්ත දිළිඳු කාණ්ඩයට රුපියල් 17,500ක සහ දිළිඳු කාණ්ඩයට රුපියල් 10,000ක මාසික දීමනාවක් ලබා දෙන බැවින්, එම ප්‍රතිලාභය අඛණ්ඩව ලබා ගැනීමට නම් හෙට දිනට පෙර වහාම සිය තොරතුරු යාවත්කාලීන කළ යුතු බවට බලධාරීන් දැනුම් දී සිටී.














