කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 96 වන වරටත් අභිමානයෙන් පැවැත්වූ ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (01) කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය. ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ කුසලානය වෙනුවෙන් තෙදිනක් පුරා පැවැති මෙම තරගයේදී කණ්ඩායම් දෙකම ප්‍රබල පිතිහරඹයක නිරත වීම කැපී පෙනුණි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ආනන්ද විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 353ක් රැස්කර තිබියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි නාලන්දා විද්‍යාලයීය පිතිකරුවන් දක්ෂ ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කරමින් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 424ක් ලබාගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේය.
1924 වසරේ ආරම්භ වූ මෙම සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ ජය පරාජයෙන් තොරව අවසන් වූ 77 වන අවස්ථාව මෙය ලෙස වාර්තා වේ. සමස්ත තරග ඉතිහාසය දෙස බැලීමේදී ආනන්ද විද්‍යාලය තරග 12ක ජයග්‍රහණය හිමිකරගෙන ඇති අතර නාලන්දා විද්‍යාලය තරග 07ක ජයග්‍රහණය තමන් සතු කරගෙන තිබේ.














