පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයෙන් හානියට පත් වූ අත්‍යාවශ්‍ය සේවාවන්ගෙන් 99%ක් මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (12) ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ස්ථාපිත කළ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය හරහා මෙම කටයුතු සම්බන්ධීකරණය කෙරෙන බවයි.
විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, සෞඛ්‍ය සහ පොදු ප්‍රවාහන සේවා මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධ ඕනෑම ගැටලුවක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා 1904 ක්ෂණික දුරකථන අංකය මහජනතාවට විවෘත කර ඇත. උඩරට දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම් තවදුරටත් සිදුවෙමින් පවතින බවත්, ආපදාවෙන් දැඩි ලෙස පීඩාවට පත් බදුල්ල, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක පහක ජනතාව නැවත පදිංචි කිරීමේ සැලසුම් දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.
හදිසි නීතිය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර ඇත්තේ නැවත පදිංචි කිරීම් සහ ඉඩම් අත්පත් කර ගැනීම් කඩිනම් කිරීමට බවත්, “Rebuilding” වැඩසටහන යටතේ හානි වූ යටිතල පහසුකම් පෙර තිබූ තත්ත්වයට වඩා උසස් අයුරින් නැවත ගොඩනැඟීමට රජය පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.














