ඕස්ට්‍රේලියානු පොලිස් ඉතිහාසයේ සිදු වූ විශාලතම “මිනිස් දඩයම” (Manhunt) ලෙස සැලකෙන, මාස හතක් පුරා වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ මෙහෙයුම ඊයේ (30) ඩෙසී ෆ්‍රීමන් නමැති සැකකරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියයාමත් සමඟ අවසන් විය. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පෝරපන්කා (Porepunkah) නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි.
සැකකරු පෝරපන්කා නගරයේ සිට පැය දෙකක පමණ දුරකින් පිහිටි ස්ථානයක සැඟවී සිටියදී පොලිසිය විසින් වට කර ඇති අතර, පැය තුනක පමණ කාලයක් පැවති දැඩි ගැටුමකින් පසු පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ ඔහු මියගොස් තිබේ. මෙම පුවතත් සමඟ ඔහු ජීවත් වූ පෝරපන්කා වැසියන් අතර සහනයක් මෙන්ම දැඩි කනගාටුවක් ද ඇති වී තිබේ. ඝාතනයට ලක්වූ නීල් තොම්සන් (Neal Thompson) සහ වඩීම් ද වාට් (Vadim de Waart) යන පොලිස් නිලධාරීන් ද මෙම කුඩා නගරයේ ඉතා ප්‍රකට පුද්ගලයින් වීම මෙයට හේතුවයි.
මාස කිහිපයකට පෙර පොලිසිය විසින් මෙම සැකකරු මියගොස් ඇති බවට සැක කළ ද, ඔහු රහසිගතව සැඟවී සිට ඇති බව මෙම මෙහෙයුමෙන් තහවුරු විය. මාධ්‍ය අවධානය සහ පොලිස් මෙහෙයුම් හේතුවෙන් නගරයේ ආර්ථිකයට සහ ජන ජීවිතයට සිදුවූ බලපෑමෙන් මිදී යළි සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මෙම සිදුවීම පිටුවහලක් වනු ඇතැයි ප්‍රදේශවාසීහු බලාපොරොත්තු වෙති.














