මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Ceylon Cold Stores (CCS) සමාගම, 2025 වසරේ පැවති කීර්තිමත් NCE අපනයන සම්මාන උළෙලේදී රසකැවිලි නිෂ්පාදන අංශයේ (Confectionery Products Sector) මහා පරිමාණ කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් (Gold Award) පිදුම් ලබා තිබෙනවා. මෙම සම්මානය මඟින් 2024/25 මූල්‍ය වර්ෂය තුළ සමාගම දැක්වූ විශිෂ්ට අපනයන දක්ෂතාවය සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට ලබා දුන් සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක් කර ඇත.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට (John Keells Holdings PLC) අනුබද්ධිත ආයතනයක් වන සීමිත ලංකා කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම, වසර 150කට අධික ඉතිහාසයක් ඇති Elephant House වැනි ලෝක ප්‍රකට සන්නාමයන් මෙරට ආහාර හා පානීය ක්ෂේත්‍රයට දායාද කළ ආයතනයකි. දැනට මාලදිවයින, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 16කට සිය නිෂ්පාදන අපනයනය කරන අතර Reliance Consumer Products සමාගම සමඟ ඇති කරගත් උපායමාර්ගික සබඳතාව හරහා ඉන්දීය වෙළෙඳපොළ තුළ ද සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ඔවුන් සමත්ව ඇත.
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා ප්‍රකාශ කළේ මෙම ඇගයීම මඟින් ජාත්‍යන්තර මට්ටමේ තරඟකාරී ශ්‍රී ලාංකීය සන්නාමයන් ලොවට හඳුන්වා දීමට ඇති කැපවීම තවදුරටත් තහවුරු වන බවයි. එමෙන්ම අපනයන අංශයේ ප්‍රධානී සතිෂ් රත්නායක සහ ජාත්‍යන්තර අලෙවි ප්‍රධානී සුදන්ත වික්ටෝරියා යන මහත්වරුන් ද සඳහන් කළේ විදේශීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කරමින් පාරිභෝගික රුචිකත්වයන්ට අනුව නිෂ්පාදන සැකසීම සිය අපනයන උපායමාර්ගයේ ප්‍රධානතම අංගය වී ඇති බවයි.














