ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් (Elon Musk) විසින් 2022 වසරේදී Twitter සමාගම (දැන් ‘X’) මිලදී ගැනීමේදී සිදු කළ බව කියන වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සමූහ නඩුවක් ගොනු කිරීමට හිටපු ආයෝජකයන් දෙදෙනෙකුට අමෙරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු අද (01) අවසර ලබා දුන්නේය.
මෑන්හැටන් හි අමෙරිකානු දිස්ත්‍රික් විනිසුරු ඇන්ඩෘ කාටර් (Andrew Carter) පවසා සිටියේ, මස්ක් විසින් සිය ආයෝජන පිළිබඳ තොරතුරු හෙළි කිරීමට ප්‍රමාද කිරීම හරහා Twitter කොටස් මිල කෙරෙහි බලපෑමක් ඇති වී ඇති බවයි. අමෙරිකානු සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) නීතිවලට අනුව, සමාගමක 5%ක කොටස් අත්පත් කරගත් පසු ඒ පිළිබඳව දැනුම් දිය යුතු වුවද, මස්ක් දින 11ක් පමා වී සිය 9.2%ක කොටස් හිමිකාරිත්වය ප්‍රකාශයට පත් කර ඇති බවට ආයෝජකයෝ චෝදනා කරති.
මෙම පමාව හේතුවෙන් ඉලොන් මස්ක් ඩොලර් මිලියන 200කට වඩා වැඩි මුදලක් ඉතිරි කරගත් බවත්, ඒ හරහා අඩු මිලට සිය කොටස් අලෙවි කළ ආයෝජකයන්ට අසාධාරණයක් සිදුවූ බවත් ඔවුන් පෙන්වා දෙයි. මීට අමතරව, මස්ක් විසින් Twitter වෙත විකල්ප සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කරන බවට පළ කළ ට්විටර් පණිවිඩ හරහා ආයෝජකයන්ව නොමග යවා ඇති බව ද එම නඩුවේ සඳහන් වේ. ඉලොන් මස්ක් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ ද, අධිකරණයේ මෙම තීරණයත් සමඟ ඔහුට එරෙහිව නීතිමය පීඩනය තවදුරටත් දැඩි වී තිබේ.














