ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩායි (Bondi) වෙරළ තීරයේ ඉකුත් දෙසැම්බර් මාසයේදී යුදෙව් ආගමික උත්සවයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන නවීඩ් අක්‍රම් (Naveed Akram) විසින් ඉදිරිපත් කළ විශේෂ පෙත්සමක් එරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, ඔහුගේ මව, සහෝදරයා සහ සහෝදරියගේ නම් සහ ලිපිනයන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම වැළැක්වීමට (Suppression order) කළ ඉල්ලීමයි.
ප්‍රහාරයෙන් පසු තම පවුලේ සාමාජිකයන්ට විවිධ මරණ තර්ජන සහ අපහාසයන් එල්ල වන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වසර 40ක කාලයක් සඳහා මෙම තොරතුරු රහසිගතව තබා ගන්නා ලෙස සැකකරුගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
කෙසේ වෙතත් සිඩ්නි අධිකරණයේ විනිසුරු හියු ඩොනෙලි (Hugh Donnelly) මහතා ප්‍රකාශ කළේ මෙම නඩුව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව තුළ පමණක් නොව මුළු ලෝකයේම දැඩි අවධානයක් සහ දැඩි කෝපයක් පවතින බවයි. එසේම ප්‍රහාරය එල්ල වූ මුල් දිනවලදීම සැකකරුගේ රියදුරු බලපත්‍රයේ ඡායාරූප ඇතුළු ඔහුගේ පවුලේ විස්තර සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා ප්‍රසිද්ධ වී හමාර බැවින්, මෙවැනි තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් බලාපොරොත්තු වන සහනයක් ලබා ගත නොහැකි බවත් විනිසුරුවරයා අවධාරණය කළා.
24 හැවිරිදි නවීඩ් අක්‍රම් සහ ඔහුගේ පියා විසින් ඉකුත් දෙසැම්බර් 14 වනදා එල්ල කළ මෙම වෙඩි තැබීමෙන් සහ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 40කට අධික පිරිසක් තුවාල ලැබුවා. ඔහුගේ පියා වන සජිඩ් අක්‍රම් (Sajid Akram) පොලිස් වෙඩි පහරින් එම ස්ථානයේදීම මියගිය අතර, තුවාල ලබා ජීවත් වූ නවීඩ් අක්‍රම්ට එරෙහිව මිනීමැරුම් සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් ඇතුළු චෝදනා 59ක් යටතේ නඩු පවරා තිබේ.














