අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වොෂින්ටන් ඩී.සී. අගනුවර ඉදිකිරීමට යෝජිත අඩි 250ක් (මීටර් 76ක්) උසැති දැවැන්ත “ජයග්‍රාහී තොරණක” (Triumphal Arch) සැලසුම් ධවල මන්දිරය විසින් ප්‍රසිද්ධ කර තිබේ. “Arc de Trump” ලෙස නම් කර ඇති මෙම ස්මාරකය ලෝකයේ පවතින ලස්සනම සහ විශාලතම ජයග්‍රාහී තොරණ වනු ඇති බවට ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශ කර ඇත.
මෙම ස්මාරකය අනුමත වුවහොත් එය අමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ලට සහ ලින්කන් ස්මාරකයටත් වඩා උසින් වැඩි වනු ඇත. රන් ආලේපිත රාජාලීන් දෙදෙනෙකු, පියාපත් සහිත නිදහසේ දේවතාවියකගේ පිළිරුවක් සහ රන් සිංහ රූපවලින් මෙම නිර්මාණය සමන්විත වන අතර, එහි “One Nation Under God” යනුවෙන් රන් අකුරින් සඳහන් කර තිබේ. ආර්ලින්ටන් ජාතික සුසාන භූමිය හරහා නගරයට පිවිසෙන ජනතාව පිළිගැනීම සඳහා මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ධවල මන්දිර ප්‍රකාශක ඩේවිස් ඉන්ගල් සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගන්නා ආකාරය පිළිබඳව ධවල මන්දිරය මෙතෙක් නිල තොරතුරු ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණේ සිය ධවල මන්දිර උත්සව ශාලා ව්‍යාපෘතියෙන් ඉතිරි වන මුදල් මෙයට යොදා ගන්නා බවයි. මෙම සැලසුම සම්බන්ධයෙන් ලබන සතියේදී ලලිත කලා කොමිසම (Commission of Fine Arts) විසින් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
















