සුප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ විසින් 1941 වසරේදී නිර්මාණය කරන ලද “Tête de Femme” (කාන්තාවකගේ හිස) නමැති වටිනා සිතුවම යුරෝ 100ක ලොතරැයි පතක් හරහා දිනාගැනීමේ අපූරු අවස්ථාවක් ප්‍රංශයේදී සංවිධානය කර තිබේ. මෙම ලොතරැයිය මඟින් එකතු වන මුදල් ඇල්සයිමර් (Alzheimer) රෝගය පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට නියමිතය.
පිකාසෝගේ මෙම සිතුවම දැනට යුරෝ මිලියනයක වටිනාකමකින් යුක්ත වන අතර, ලොතරැයිපත් අලෙවියෙන් ලැබෙන මුදලින් යුරෝ මිලියනයක් සිතුවමේ වත්මන් හිමිකරු වන ඔපෙරා ගැලරිය (Opera Gallery) වෙත ගෙවනු ලැබේ. ඉතිරි මුදල ප්‍රංශයේ ප්‍රධාන පෙළේ රෝහලක් ආශ්‍රිතව පවත්වාගෙන යන ඇල්සයිමර් පර්යේෂණ පදනම වෙත ලබා දීමට නියමිතය. ලොතරැයිපත් 120,000කට සීමා කර ඇති බැවින් සියලුම පත් අලෙවි වුවහොත් යුරෝ මිලියන 12ක මුදලක් රැස් කර ගැනීමට සංවිධායකයන් අපේක්ෂා කරයි.
මීට පෙර 2013 සහ 2020 වසරවලදී ද පිකාසෝගේ සිතුවම් වෙනුවෙන් මෙවැනිම ලොතරැයිපත් පවත්වා ඇති අතර, ඒවායෙන් රැස් කරගත් මුදල් ලෙබනනයේ සංස්කෘතික කටයුතු සහ අප්‍රිකාවේ සනීපාරක්ෂක ව්‍යාපෘති සඳහා යොදවා තිබුණි. මෙම සිතුවම අද (අප්‍රේල් 13) සිට පැරිසියේ ක්‍රිස්ටිස් (Christie’s) වෙන්දේසි මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන අතර, ලොතරැයි දිනුම් ඇදීම හෙට (අප්‍රේල් 14) දින පස්වරු 6ට එහිදී පැවැත්වීමට නියමිතය.














