ඉරාන වරායන් අවහිර කිරීමට (Blockade) ඇමෙරිකාව ගෙන ඇති තීරණයට බ්‍රිතාන්‍යය සහාය නොදක්වන බව එරට අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් (Keir Starmer) මහතා අද (අප්‍රේල් 13) ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍යයේ මූලික අවධානය යොමු වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කරවා ගැනීමට බවත්, බලශක්ති මිල ශීඝ්‍රයෙන් පහත හෙළිය හැකි එකම ක්‍රමය එය බවත් ඒ මහතා අවධාරණය කළේය.
මෙම අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ බලශක්ති බිල්පත් ඉහළ යාම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගකිව යුතු දැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට අග්‍රාමාත්‍යවරයා සෘජු පිළිතුරක් ලබා නොදුන් නමුත්, තත්ත්වය සමනය කිරීමටත් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමටත් රටවල් ඒකාබද්ධ කිරීම සිය ප්‍රමුඛතාවය බව පැවසීය. ගල්ෆ් කලාපයේ නාවික ගමනාගමනය සීමා වීමට වගකිව යුත්තේ ඉරානය බවත්, බ්‍රිතාන්‍යය මෙම යුද්ධයට මැදිහත් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














