යුද්ධය අවසන් වූ පසුව වුවද ලෝකය දැවැන්ත රැකියා අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා පවසයි. වොෂින්ටන් නුවර පැවැත්වෙන ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත හමුවට සමගාමීව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ඉදිරි වසර 10ත් 15ත් අතර කාලය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයන් බිලියන 1.2ක් සේවා නියුක්ත වයසට එළඹෙනු ඇති බවයි. පවතින තත්ත්වය අනුව ඉදිරි දශකය තුළ උත්පාදනය කළ හැක්කේ රැකියා මිලියන 400ක් පමණක් වන බැවින් රැකියා මිලියන 800ක දැවැන්ත හිඟයක් ඇතිවීමට නියමිත බව ද ඔහු අවධාරණය කළේය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වීම සහ උද්ධමනය ඉහළ යාම මෙම තත්ත්වය තවත් දරුණු කිරීමට හේතු වී තිබේ.
මෙම රැකියා අර්බුදයට නිසි විසඳුම් නොලැබුණහොත් නීතිවිරෝධී සංක්‍රමණ සහ ලොව පුරා දේශපාලනික අස්ථාවරත්වයන් ඇති විය හැකි බවට අනතුරු අඟවන බංගා මහතා, රැකියා උත්පාදනයට අමතරව බිලියනයක ජනතාවකට පිරිසිදු පානීය ජලය ලබා දීම සහ අප්‍රිකාවේ පවුල් මිලියන 300කට විදුලිය ලබා දීම වැනි දීර්ඝකාලීන අභියෝග ජය ගැනීමට ලෝක බැංකුව මූලිකත්වය ගෙන කටයුතු කරන බව ද සඳහන් කළේය. යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, සංචාරක සහ නිෂ්පාදන යන ක්ෂේත්‍ර පහ කෙරෙහි පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මඟින් මෙම රැකියා ගැටලුවට යම් සහනයක් ලබා ගත හැකි බව ලෝක බැංකුවේ විශ්වාසයයි.














