මෙවර මැයි දින සැමරුම වෙසක් පුන් පොහෝ දිනය යෙදී ඇති මැයි මස 1 වැනිදාට යෙදී තිබීම හේතුවෙන්, එදින දේශපාලන රැස්වීම් සහ රැලි පැවැත්වීමෙන් වළකින ලෙස බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලා සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරති. දේශපාලන රැලි වෙනුවට එදින ආගමික වතාවත් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ලෙස උන්වහන්සේලා වැඩිදුරටත් උපදෙස් දෙති.
මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) එදින මැයි රැලියක් නොපැවැත්වීමට දැනටමත් තීරණය කර ඇත. කෙසේ වෙතත්, සමගි ජන බලවේගය (SJB) මේ සම්බන්ධයෙන් සිය අවසන් තීරණය ගැනීම සඳහා ලබන 17 වැනිදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර, එම පක්ෂයේ ඇතැම් පිරිස් මැයි 1 වැනිදාම රැලිය පැවැත්විය යුතු බවට යෝජනා කර ඇති බව ද වාර්තා වේ.
මේ අතර රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙවැනි දැවැන්ත රැස්වීම් පැවැත්වීමෙන් විශාල මුදලක් නාස්ති වන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. සාමාන්‍යයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂයකට මැයි රැලියක් සංවිධානය කිරීම සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැය වන බවට ගණන් බලා තිබේ.














