ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීම නිසා ඇතිවූ විදුලි අර්බුදය සමනය කිරීමට රජය ගන්නා වැරදි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරියේදී දැඩි පානීය ජල සහ කෘෂිකාර්මික ජල අර්බුදයක් ඇතිවන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අනතුරු අඟවයි. නුගේගොඩ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ බාල ගල් අඟුරු අර්බුදය වසා ගැනීමට ජල විදුලිය වැඩිපුර නිපදවීමේ අරමුණින් වික්ටෝරියා ජලාශයේ ජලය අවිධිමත් ලෙස මුදා හැරීමට රජය තීරණය කර ඇති බවයි. පසුගිය මාර්තු 24 වැනිදා පැවති සාකච්ඡාවකදී කෘෂිකාර්මික අවශ්‍යතා නොසලකා හරිමින් විදුලිය නිපදවීම සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය සාමාන්‍ය මට්ටමට වඩා වැඩියෙන් මුදා හැරීමට තීරණය කිරීම හේතුවෙන් ජලාශයේ ජල ධාරිතාව ඝණ මීටර් මිලියන 405 සිට මිලියන 75 දක්වා දරුණු ලෙස පහත හෙළීමට මෙයින් සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි.
ජල මට්ටම මෙලෙස ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයින් 17,000කට ජලය සපයන බලගොල්ල ජල පොම්පාගාරය මේ වන විටත් අකර්මණ්‍ය වී ඇති අතර කුණ්ඩසාලේ, දිගන සහ පල්ලේකැලේ ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවලට ද ජලය නොමැතිවීමෙන් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. එල්නිනෝ තත්ත්වයක් පවතින බවට අනාවැකි පළවී තිබියදී මෙලෙස ජලාශ හිස් කිරීම නිසා මීළඟ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය ජලය නොමැති වී රට තුළ දැඩි ආහාර හිඟයක් නිර්මාණය විය හැකි බව නාගමුව මහතා අවධාරණය කරයි. බාල ගල් අඟුරු වංචාව වසා ගැනීමට ගොස් පානීය ජලය සහ ආහාර සුරක්ෂිතතාව බිලි නොදෙන ලෙසත් වහාම ජල කළමනාකරණ සාකච්ඡාවක් කැඳවා මෙම විනාශකාරී තීරණය හකුළා ගන්නා ලෙසත් ඒ මහතා රජයට බලකර සිටියි.














