තැපැල් දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති රුපියල් කෝටි හතකට ආසන්න මූල්‍ය වංචා 40කට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුව නියෝග කර තිබේ. මෙම මූල්‍ය වංචාවලට අදාළ විමර්ශන 2007 වසරේ සිට 2025 වසර දක්වා වූ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ අවසන් නොවී පවතින බව අනාවරණය වී ඇති අතර 2025 දෙසැම්බර් 31 වන විට තැපැල් දෙපාර්තමේන්තුව සතුව අවසන් නොවූ මූලික විමර්ශන 1,538ක් පමණ පවතින බව ද කාරක සභාව පෙන්වා දී ඇත.
පරීක්ෂණ පමාවීමට ප්‍රධාන හේතුව විමර්ශන නිලධාරීන්ගේ පවතින හිඟය බව තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් කරුණු දක්වා ඇති නමුත් මෙම පමාව පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් මාසයක් ඇතුළත ලබා දෙන ලෙස කෝපා කමිටුව තැපැල් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ. රුපියල් 69,999,317ක වටිනාකමකින් යුත් මෙම වංචාවන් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරිණි.















