මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ පොහොර මිල රුපියල් 17,000 දක්වා ඉහළ ගොස් තිබුණ ද, රජයේ විශේෂ මැදිහත්වීම මත පොහොර මිටියක් රුපියල් 10,200 ක සහන මිලකට ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. රට තුළ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පොහොර තොග පවතින බැවින් ගොවි ජනතාව ඒ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැති බව ද ඔහු අවධාරණය කළේය.
මොරගොල්ලගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා පවසා සිටියේ, මහ කන්නයට අවශ්‍ය මඩ පොහොර (TSP) සහ MOP පොහොර ප්‍රමාණවත් පරිදි ගබඩා කර ඇති බවයි. පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ ගොවීන්ගේ පිරිවැය අවම කිරීම සඳහා හෙක්ටයාර දෙකක් සඳහා ලබා දෙන සහනාධාරය රුපියල් 30,000 සිට 60,000 දක්වා දෙගුණයකින් ඉහළ නැංවීමට ද රජය පියවර ගෙන තිබේ. මේ වන විට යූරියා පොහොර ටොන් 25,000 ක් රැගත් නෞකාවක් ද මෙරටට පැමිණ ඇති අතර, ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදාහැරීම් කටයුතු කඩිනම් කර ඇත.













