දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ මහා පරිමාණ රන්මාල කොල්ලකෑම් සහ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවෙකු මොරටුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව මොරටුව උස්වත්ත මාර්ගයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු කොටුකර ගැනීමට හැකිවී ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් පොලිසිය භාරයට ගෙන තිබේ.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම සැකකරු දීර්ඝ කාලයක සිට ඉතා සූක්ෂ්ම ලෙස අපරාධ මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය. විශේෂයෙන්ම දෙහිවල ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි සොරකමකට අමතරව මිරිහාන, කඩුවෙල, හෝමාගම, මොරටුව, නාරාහේන්පිට සහ කුරුඳුවත්ත ඇතුළු පොලිස් වසම් දහයකට අධික සංඛ්‍යාවක කාන්තාවන්ගේ රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් රැසකට මොහු සෘජුවම සම්බන්ධ වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කරන ලද යතුරුපැදි කිහිපයක් සහ කොල්ලකන ලද රන්මාල පහක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ. බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.













