මහා භාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද (30) පාර්ලිමේන්තු මුදල් කාරක සභාව (COPF) හමුවට කැඳවා සිටි මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා එම කමිටුවට පැමිණීමට නොහැකි බව දන්වා ඇත.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන් වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල් කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම කමිටු රැස්වීමට සහභාගී නොවීම බරපතල ගැටලුවක් බව මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මේ අතර, මුදල් ලේකම්වරයා මෙලෙස කමිටුව මඟහැරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කිරීමට කමිටු සභාපතිවරයාට බලය ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. එවැනි වරදක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර දෙකක් දක්වා සිර දඬුවම් හෝ දඩ මුදලක් නියම කිරීමේ හැකියාව පවතින බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.













