එක්සත් ජනපදයේ වෙළෙඳ ගිවිසුම් සඳහා පූර්ණ එකඟතාවක් පළ නොකිරීම හේතුවෙන් ලබන සතියේ සිට යුරෝපා සංගමයෙන් ආනයනය කරනු ලබන සියලුම මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා 25%ක දැවැන්ත තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. ජනාධිපතිවරයා සිය Truthsocial ගිණුම හරහා මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
මෙම තීරු බද්දෙන් නිදහස් විය හැක්කේ අදාළ වාහන නිෂ්පාදන සමාගම් අමෙරිකා එක්සත් ජනපදය තුළ සිය කම්හල් පිහිටුවා නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ නම් පමණක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වන විටත් ඩොලර් බිලියන 100කට අධික ආයෝජනයක් යටතේ වාහන නිෂ්පාදන කම්හල් රැසක් ඉදිවෙමින් පවතින බවත්, මෙය අමෙරිකානු වාහන නිෂ්පාදන ඉතිහාසයේ වාර්තාවක් බවත් ඔහු පෙන්වා දෙයි.
අමෙරිකානු සේවක ශ්‍රමයෙන් ක්‍රියාත්මක වන මෙම කම්හල් ඉක්මනින් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම ක්‍රියාවලිය හරහා එරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ පෙර නොවූ විරූ පිම්මක් අපේක්ෂා කරන බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














