ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2026 වසරේ පළමු කාර්තුවේදී මෙරටට ආනයනය කරන ලද වාහන සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 613ක් ලෙස සටහන් වේ. මෙම ආනයනයන් තුළට පුද්ගලික සහ වාණිජ යන දෙවර්ගයේම වාහන ඇතුළත් වන අතර මාර්තු මාසයේදී පමණක් සිදුකර ඇති ආනයනයන් සඳහා ඩොලර් මිලියන 195ක් වැය වී ඇත. පසුගිය වසරේ මුල් කාර්තුවේදී වාහන ආනයනය සඳහා වැය වූ මුදල ඩොලර් මිලියන 61ක් පමණක් වූ බැවින්, පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ වාහන ආනයන වියදම සියයට 900ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.
වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟම 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට වාහන ආනයනය ක්‍රමයෙන් ඉහළ ගිය අතර, එම වසර අවසාන වන විට සමස්ත වාහන ආනයන වියදම ඩොලර් බිලියන 2.047ක් විය. පසුගිය වසරේදී පමණක් වාහන ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ඇති අතර එය ඉතිහාසයේ වාහන වැඩිපුරම ගෙන්වූ වසරවල් අතුරින් තෙවැනි ස්ථානයට පත්විය. කෙසේ වෙතත්, වත්මන් වසරේ මුල් කාර්තුවේ දක්නට ලැබෙන මෙම ඉහළ ආනයන වියදම වසර අවසානය වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.














