මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයක් අතට පත්වීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව එවැනි ගෙවීමක් සිදුකිරීමට කිසිදු ඉඩක් නොමැති බවයි.
කොළඹදී ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ භාණ්ඩාගාර මුදල් ගෙවීම් සම්බන්ධයෙන් පවතින දැඩි රෙගුලාසි අනුව අතිරේක අධ්‍යක්ෂවරයෙකුට පමණක් මෙවැනි මූල්‍ය ගනුදෙනුවකට අවසර දිය නොහැකි බවයි. මෙම මූල්‍ය අවභාවිතය සිදුව ඇත්තේ නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරවද නැතහොත් ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීම මතද යන්න පිළිබඳව මෙහිදී බරපතළ සැකයක් මතුවන බව ද ඔහු සඳහන් කළේය.
මෙම සිදුවීම රජයේ මූල්‍ය විනය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරන්නක් බවත්, අදාළ ගනුදෙනුව සඳහා වගකිවයුතු පිරිස් සොයා වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














