ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉහළ පෙළේ සාකච්ඡාවක් බැංකොක් නුවර පිහිටි රාජකීය තායි ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වා තිබේ. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය සහ ආරක්ෂක උපදේශක එයාර් කොමදෝරු වජිර ජයකොඩි මහතා, එහිදී රාජකීය තායි ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සකේසන් කන්තා මහතා හමු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.
මෙම හමුවේදී දෙරටේ ගුවන් හමුදාවන් අතර පුහුණු අවස්ථා ලබා ගැනීම, දැනුම හුවමාරු කර ගැනීම සහ ආයතනික සබඳතා වර්ධනය කරගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. මෙය ශ්‍රී ලංකා තානාපතිනියක විසින් රාජකීය තායි ගුවන් හමුදාපතිවරයා හමු වූ ප්‍රථම නිල අවස්ථාව ලෙස වාර්තා වන අතර, එය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවල සුවිශේෂී හැරවුම් ලක්ෂයක් ලෙස සැලකේ.
ඉතා සුහදශීලී මෙන්ම අනාගතවාදී වාතාවරණයක් යටතේ පැවැති මෙම සාකච්ඡාවේදී ඉදිරි වසරවලදී ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශ්වයම සිය කැපවීම තහවුරු කර තිබේ. මෙම හමුව හරහා දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා නව මානයකට යොමු වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් බලාපොරොත්තු පළ කරයි.














