දිට්වා සුළි කුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ පතුලේ තැන්පත් වී තිබූ රොන් මඩ ඉවත් කිරීම සඳහා එහි මඩ සොරොව්ව (Silt Scour Gate) පසුගිය 05 වනදා පස්වරුවේ විනාඩි 30ක පමණ කාලයක් විවෘත කිරීමට පියවර ගත් බව ජලාශ කාර්යභාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේය. සුළි කුණාටු තත්ත්වයත් සමඟ ජලාශ වේල්ල අසලට විශාල වශයෙන් රොන් මඩ ගලා ඒම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
මඩ සොරොව්ව විවෘත කිරීමට පෙර කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් සහ අදාළ රාජ්‍ය ආයතන කල්තියා දැනුවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත. මෙම මෙහෙයුමේදී තත්පරයට ඝණ මීටර් 90ක පමණ සුළු ජල ධාරිතාවක් පිටවී ඇති බව වාර්තා වේ. මීට පෙර කොත්මලේ ජලාශයේ මඩ සොරොව්ව මෙලෙස විවෘත කර ඇත්තේ 2024 වසරේදීය.
කෙසේ වෙතත්, මේ දිනවල මධ්‍යම කඳුකරයේ පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් කොත්මලේ ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ. කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කළේ මේ වන විට ජලාශයේ පවතින සමස්ත ජල ධාරිතාවය 27.7% දක්වා පහළ ගොස් ඇති බවයි. ඉදිරි දිනවලදී වැසි තත්ත්වයක් බලාපොරොත්තු වුවද පවතින වියළි තත්ත්වය විදුලි උත්පාදන කටයුතුවලට ද බලපෑම් එල්ල කළ හැකිය.














