කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සිදුකළ වැටලීමකදී ටී-56 ගිනි අවි සඳහා භාවිතා කරන පතොරොම් 54ක් සහ මැගසින් එකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කෑගල්ල, කේහල්බද්දර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) අලුයම මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පතොරොම් සහ මැගසින් එක විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකුට අයත් ඒවා බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ පතොරොම් තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.














