පාපන්දු ඉතිහාසයේ දැවැන්තම පෙරළිය සනිටුහන් කරමින් 2026 ෆිෆා ලෝක කුසලාන තරඟාවලිය අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් ත්‍රිත්වයේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට සියල්ල සූදානම් වී තිබේ. මෙවර තරඟාවලිය සුවිශේෂී වන්නේ කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වා ඉහළ නංවා ඇති බැවින් වැඩි තරඟ සංඛ්‍යාවක් නැරඹීමට ලොව පුරා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වීමයි. ශ්‍රී ලංකාවේ සිටින පාපන්දු ලෝලීන්ට ද මෙවර ලෝක කුසලානය අලුත් අත්දැකීමක් වනු ඇත්තේ තරඟ වැඩි ප්‍රමාණයක් මධ්‍යම රාත්‍රියේ සහ අලුයම කාලයේ විකාශය වීමට නියමිත බැවිනි.
ශ්‍රී ලංකා වේලාවෙන් තරඟ නැරඹීමේදී ප්‍රේක්ෂකයන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ උතුරු ඇමෙරිකානු කලාපයේ පවතින කාල කලාපයන්ට අනුව බොහෝ තරඟ මෙරට වේලාවෙන් රාත්‍රී 12:30, අලුයම 3:30 සහ අලුයම 6:30 වැනි වේලාවන්හිදී ආරම්භ වීමයි. 2026 ජූනි මස 11 වනදා මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන සමාරම්භක තරඟයෙන් ආරම්භ වන මෙම පාපන්දු සැණකෙළිය ජූලි මස 19 වනදා නිව්යෝර්ක් හි පැවැත්වෙන අවසන් මහා තරඟය දක්වා පුරා මාසයකට අධික කාලයක් ලෝකයම පාපන්දු උන්මාදයෙන් පිනවනු ඇත.
මෙවර තරඟාවලියේ මූලික වටයේදී කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ 12ක් යටතේ තරඟ වදින අතර පෘතුගාලය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ එංගලන්තය වැනි ප්‍රබල කණ්ඩායම්වලට අමතරව උස්බෙකිස්තානය සහ ජෝර්දානය වැනි නවක කණ්ඩායම් කිහිපයක්ම මෙවර ලෝක කුසලාන වරම් දිනා සිටීම කැපී පෙනෙන සිදුවීමකි. එසේම ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට අවසන් මහා තරඟය අතරතුර සුවිශේෂී සංදර්ශනයක් පැවැත්වීමට ද ෆිෆා ආයතනය සැලසුම් කර ඇති අතර එය සුපර් බෝල් (Super Bowl) ආකෘතියට සමානව ලෝක පූජිත ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් වඩාත් වර්ණවත් වීමට නියමිතය.
මෙවර තරඟාවලිය සඳහා යොදාගන්නා “ට්‍රියෝන්ඩා” නිල පන්දු සහ මූස්, ජගුවර් සහ ඊගල් යන සතුන් තිදෙනා නිරූපණය වන නිල ලාංඡන මඟින් සත්කාරක රටවල් තුනෙහි සංස්කෘතික අනන්‍යතාවය මනාව පිළිඹු කරයි. තරඟ සංඛ්‍යාව 104 දක්වා ඉහළ යාම හේතුවෙන් මෙවර වාර්තාගත ගෝල සංඛ්‍යාවක් දැකගත හැකි වනු ඇතැයි විචාරකයෝ අනාවැකි පළ කරති.














