ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අද දින කොළඹදී අත්සන් තබන ලදී. කොළඹ හිල්ටන් හෝටලයේ පැවති නිල උත්සවයකදී අත්සන් තැබුණු මෙම ගිවිසුම, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දෙරට අතර ඇති කරගත් ප්‍රථම නිල සහයෝගීතාවය වීම විශේෂත්වයකි. ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් දැනුම සහ පර්යේෂණ හැකියාවන් හුවමාරු කර ගැනීම මෙහි මූලික අභිප්‍රාය වී තිබේ.
මෙම නව සහයෝගීතාවය යටතේ ජෛව තාක්ෂණය, කෘෂිකර්මය, ආහාර තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර රැසකට ප්‍රමුඛතාවය හිමි වේ. විශේෂයෙන්ම දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණයන් හඳුන්වා දීමටත්, ඉලෙක්ට්‍රොනික සහ ස්වයංක්‍රීයකරණ අංශවලින් තාක්ෂණික විශේෂඥතාව හුවමාරු කර ගැනීමටත් මෙහිදී එකඟතාව පළ විය. ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ විද්‍යාඥයන් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම හරහා දෙරටේම තාක්ෂණික ක්ෂේත්‍රයේ නව පුනරුදයක් ඇති කිරීමට මෙම පියවර ඉවහල් වනු ඇත.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ වියට්නාම රජය වෙනුවෙන් එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය Vu Hai Quan මහතා මෙම ඓතිහාසික ලේඛනයට අත්සන් තැබූහ. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඇතුළු දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, මෙය ආසියානු කලාපය තුළ තාක්ෂණික සහයෝගීතාවයේ නව සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය.














