රිවෙරිනා ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පසුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ඩොලර් 74,000 කට අධික මුදලක් සහ විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබේ. 2026 මැයි 12 වන අඟහරුවාදා පස්වරු 2:00 ට පමණ ටම්බ්ලොන්ග් (Tumblong) ප්‍රදේශයේ හියුම් අධිවේගී මාර්ගයේදී පැයට කිලෝමීටර 110 ක වේග සීමාව ඉක්මවා පැයට කිලෝමීටර 145 ක වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. පොලිස් නිලධාරීන් විසින් 27 හැවිරිදි රියදුරු නතර කර මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කළ අතර එහිදී ඔහු මෙතම්ෆෙටමින් (methamphetamine) සහ කොකේන් (cocaine) භාවිතා කර ඇති බවට තහවුරු විය. එම අවස්ථාවේදී සැකකරු පොලිස් අණ නොතකා මාර්ගයේ වැරදි පැත්තෙන් රථය ධාවනය කර පලා යාමට උත්සාහ කර ඇති අතර පසුව මෝටර් රථය කූලැක් (Coolac) පිටවීමේ දොරටුව අසලදී අනතුරට ලක්ව තිබේ. මාර්ගයේ ගමන් කළ ලොරි රථ රියදුරන් විසින් ලබා දුන් තොරතුරු මත සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර රථය පරීක්ෂා කිරීමේදී ඩොලර් 74,000 කට වැඩි මුදලක් සමඟ මෙතම්ෆෙටමින් ග්‍රෑම් 13ක්, කොකේන් ග්‍රෑම් 2.6ක්, GHB මිලිලීටර් 500ක්, කෙටමින් (ketamine) සහ ගංජා (cannabis) සොයාගෙන ඇත.
සැකකරුට එරෙහිව නොසලකා සහ අනතුරුදායක ලෙස රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, පොලිස් අණ නොතකා අනතුරුදායක ලෙස පලා යාම, මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා ලබා දුන් නියෝග කඩ කිරීම සහ නිර්ලජ්ජිත ලෙස රිය ධාවනය කිරීම යන චෝදනා එල්ල කර ඇත. මීට අමතරව තහනම් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ බෙදා හැරීම සම්බන්ධ චෝදනා කිහිපයක් ද, අපරාධයකින් උපයා ගත් මුදල් සන්තකයේ තබා ගැනීම සහ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට පහර දීම සහ බාධා කිරීම ඇතුළු චෝදනා 14ක් ඔහුට එරෙහිව ගොනු කර තිබේ. සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුව 2026 මැයි 20 වන බදාදා වැගා වැගා මහේස්ත්‍රාත් අධිකරණය (Wagga Wagga Local Court) හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.














