පාදුක්ක, වටරැක – බෙරුකැටිය මාර්ගයේ බෙරුකැටිය ප්‍රදේශයට ආසන්න පාළු ස්ථානයක රාත්‍රී කාලයේදී මාර්ගය හරහා සූක්ෂ්ම ලෙස කම්බි ඇද, එම ස්ථානයෙන් ධාවනය වන යතුරුපැදි අනතුරට ලක් කරමින් කොල්ලකෑමේ නිරත වූ සංවිධානාත්මක පුද්ගලයන් දෙදෙනෙකු අද (18) දින ප්‍රදේශවාසීන් විසින් වටලා අල්ලා පාදුක්ක පොලිසිය වෙත භාර දී තිබේ. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මීට පෙර දිනයක ද මොවුන් විසින් මාර්ගය හරහා මෙලෙස ඇද තිබූ කම්බියක පැටලීමෙන් එම මාර්ගයේ ගමන් ගත් තරුණයෙකුගේ ගෙල ප්‍රදේශය දරුණු ලෙස කැපී බරපතළ තුවාල සිදුව තිබූ බවයි.
ගම්වාසීන් විසින් අල්ලා දෙන ලද මෙම ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් පොලිසිය සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව, මෙම සාහසික කොල්ලකෑමේ ක්‍රියාවලිය සඳහා විවිධ අයුරින් ආධාර අනුබල දුන් බවට සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිස් නිලධාරීන් සමත්ව ඇත. ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හතරදෙනා (04) සම්බන්ධයෙන් පාදුක්ක පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.














