දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන මල්වාන ප්‍රදේශයේ පිහිටි මතභේදාත්මක නිවස සහ ඉඩම් කොටස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත නිල වශයෙන් පවරා දීමට අග්‍රාමාත්‍යවරිය එකඟතාව පළ කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (IUSF) අනාවරණය කරයි. අද (18) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරිය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
එම තීරණාත්මක සාකච්ඡාව නිමවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ (අන්තරේ) කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා මේ බව නිල වශයෙන් තහවුරු කළේය. අදාළ දේපළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමේ නීතිමය කටයුතු කඩිනමින් සිදු කිරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බවත්, රජය පාර්ශ්වයෙන් ලැබුණු එම ස්ථාවර පොරොන්දුව හේතුවෙන් දැනට තමන් ඇතුළු ශිෂ්‍ය පිරිස සංකේතාත්මකව අත්පත් කරගෙන සිටින මල්වාන පරිශ්‍රයෙන් වහාම ඉවත් වීමට පියවර ගන්නා බවත් කැඳවුම්කරු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.













