දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ විශේෂ මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (17) දිනයේදී පමණක් පුද්ගලයන් 27,474 දෙනෙකු දැඩි පරීක්ෂාවකට ලක් කරමින් සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්ව ඇත. ඒ අනුව, සාමාන්‍ය අපරාධ වැළැක්වීමේ විශේෂ මෙහෙයුම් යටතේ සැකපිට පුද්ගලයන් 641 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස අතරට අපරාධවලට සෘජුවම සම්බන්ධ හඳුනාගත් පුද්ගලයන් 10 දෙනෙකු, අධිකරණ වරෙන්තුකරුවන් 315 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 169 දෙනෙකු ඇතුළත් වේ. මීට අමතරව මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදුකළ පරීක්ෂාවලදී බීමත් රියදුරන් 142 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රථවාහන ධාවනය කළ 115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙනත් විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4,185 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.
මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම යටතේ ඊයේ (17) දිනය තුළ පමණක් රට පුරා සාර්ථක වැටලීම් 1,044ක් සිදුකරමින් තවත් සැකකරුවන් 1,039 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් බරපතළ ගණයේ ජාවාරම්කරුවන් 06 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග (Detention Orders) ලබාගෙන ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 05 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම, ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් නීතිවිරෝධී වත්කම් (Illegal Assets) සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද පොලිසිය විසින් ආරම්භ කර තිබේ. මෙම මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා හෙරෝයින් ග්‍රෑම් 460ක්, අයිස් (ICE) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 656ක් සහ මත්පෙති 993ක් ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීමට සමත්ව ඇත.













