රජයේ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධන ක්‍රියාවලියේ පළමු අදියර යටතේ හිමිකම් ලැබිය යුතු විශ්‍රාමිකයින්ගෙන් 98%කට අධික පිරිසකට මේ වන විට සාර්ථකව ගෙවීම් සිදුකර අවසන් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පසුගියදා (18) විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකදී මේ බව අනාවරණය විය.
දෙපාර්තමේන්තු දත්තවලට අනුව, සමස්තයක් ලෙස විශ්‍රාමිකයින් 463,000ක් පමණ පද්ධතියේ ලියාපදිංචි වී ඇති අතර, 2026 මැයි මාසය වන විට ඉන් විශ්‍රාමිකයින් 429,000කට පමණ ප්‍රතිශෝධිත ගෙවීම් ලබා දී තිබේ. මීට අමතරව, මසකට අලුතින් විශ්‍රාමිකයින් 2,500ක් පමණ අලුතින් පද්ධතියට එක්වන බව ද මෙහිදී හෙළි විය. පළමු අදියරේ සාර්ථකත්වයත් සමඟ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ දෙවන පියවර එළඹෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ඒ වෙනුවෙන් කැපවූ නිලධාරීන් ඇගයීමට ද අමාත්‍යවරයා පියවර ගත්තේය.
විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනටමත් මාර්ගගත පද්ධතියක් (Online System) ක්‍රියාත්මක වේ. මෙම පද්ධතිය මඟින් මේ වන විටත් විශ්‍රාමිකයින් 397,154 දෙනෙකුගේ දත්ත ස්වයංක්‍රීයව ගණනය කර අවසන් කර ඇති අතර, මෙම නව තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව දිවයින පුරා සිටින විශ්‍රාම වැටුප් නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු මාලාවක් ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලූ අමාත්‍යවරයා, විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිකය (Gratuity) වෙන වෙනම ගණනය කිරීමට සිදුවීම නිසා මතුව ඇති කාර්යබහුලත්වය සහ දීර්ඝ කාලයක සිට පවතින හිඟ මුදල් පිළිබඳ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.














