ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරමින්, බීජ නිෂ්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වන ‘CROPIX’ බීජ නිෂ්පාදන, සහතික කිරීමේ සහ හඳුනා ගැනීමේ නවතම ඩිජිටල් පද්ධතිය (CROPIX Seed Production, Certification & Traceability System) නිල වශයෙන් දියත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහාය ඇතිව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
පවතින සාම්ප්‍රදායික ක්‍රමවේදය තුළ බීජ සහතික කිරීමේ ප්‍රමාදයන්, බීජ හිඟය සහ බෙදාහැරීමේ ජාලයන්හි පවතින අක්‍රමවත්භාවයන් මඟහරවා ගනිමින් වඩාත් ඔරොත්තු දෙන ගොවි කේන්ද්‍රීය කෘෂිකර්මයක් බිහිකිරීම මෙහි මූලික අරමුණයි. මධ්‍යගත දත්ත කළමනාකරණය, වෙබ් අඩවි පාදක කරගත් කාර්ය ප්‍රවාහයන් සහ API තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම පද්ධතිය හරහා බීජ වගාකරුවන්, පරීක්ෂණ රසායනාගාර සහ ක්ෂේත්‍ර නිලධාරීන් එකම ජාලයකට සම්බන්ධ කෙරේ. එමඟින් ක්ෂේත්‍ර ලියාපදිංචියේ සිට රසායනාගාර පරීක්ෂණ, සහතික කිරීම සහ වෙළඳපොළ බෙදාහැරීම දක්වා වූ සම්පූර්ණ බීජ නිෂ්පාදන චක්‍රයම තත්කාලීනව (Real-time) නිරීක්ෂණය කිරීමට රජයට මෙන්ම පෞද්ගලික අංශයට ද අවස්ථාව හිමිවේ.
මෙම දියත් කිරීමේ උත්සවයට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේ, ජාතික ආහාර සුරක්ෂිතතාව සහ ගොවි ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා බීජ අංශය තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අත්‍යවශ්‍ය සන්ධිස්ථානයක් බවයි. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා මෙහිදී පවසා සිටියේ කෘෂි ආහාර පද්ධති පරිවර්තනය කිරීමට සහ ගොවීන්ට නියමිත වේලාවට ගුණාත්මක බීජ ලබාදීමට මෙම ඩිජිටල් නවෝත්පාදනය විශාල පිටුවහලක් වන බවයි. මෙම පද්ධතිය බීජ සහතික කිරීමේ සේවය (SCS) සහ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය (SPMDC) අතර සම්බන්ධීකරණය දැඩි කරන අතර, රජයේ “ඩිජිටල් ආර්ථික සැලැස්ම” (Digital Economy Blueprint) සමඟ ද මනාව සමපාත වේ.














