දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීම පාලනය කිරීම සහ රටේ ආර්ථිකය අඩපණ නොවන ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා රජය විසින් අත්‍යවශ්‍ය තීන්දු තීරණ රැසක් එකින් එක ගනිමින් සිටින බව අමාත්‍ය අනිල් ජයන්ත මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පවතින ගෝලීය සහ දේශීය ආර්ථික අභියෝග හමුවේ වුවද, රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට හානියක් නොවන අයුරින් මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම රජයේ මූලික අරමුණ වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
රුපියලේ අගය සුරක්ෂිත කරමින් රට තුළ මූල්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ද මේ වන විට සක්‍රීයව මැදිහත් වෙමින් විවිධ ක්‍රියාමාර්ග සහ මූල්‍ය උපකරණ භාවිත කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. වෙළෙඳපොළ උච්චාවචනයන් පාලනය කරමින් සහ ආයෝජන විශ්වාසය තහවුරු කරමින් ඉදිරිපත් කෙරෙන මෙම ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙළ හරහා කෙටි කලක් තුළ සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවනු ඇතැයි ද රජය අපේක්ෂා කරයි.














