අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය සිව්දින නිල සංචාරය සඳහා අද (මැයි 23) ඉන්දියාවට ළඟා වුණා. ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් ඉන්දියානු භාණ්ඩ මත පනවා ඇති අධික තීරුබදු සහ අමෙරිකාව පකිස්ථානය සහ චීනය සමඟ පවත්වාගෙන යන නව සබඳතා හේතුවෙන් අමෙරිකා-ඉන්දියා සබඳතා පසුගිය කාලයේ යම් පසුබෑමකට ලක්ව තිබුණි. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ වෙළඳාම, බලශක්තිය සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගනිමින් දෙරට අතර පළුදු වූ සබඳතා යළි ස්ථාවර කිරීමයි.
රුබියෝ කොල්කටා, ආග්‍රා, ජායිපූර් සහ නවදිල්ලි නගරවල සංචාරය කිරීමට නියමිත අතර, එහිදී ඉන්දීය බලධාරීන් සමඟ වැදගත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතයි. විශේෂයෙන්ම රුසියානු තෙල් මිලදී ගැනීමෙන් ඉන්දියාව ඉවත් කර, අමෙරිකානු බලශක්ති සැපයුම් සඳහා ඉන්දියාව යොමු කර ගැනීම කෙරෙහි අමෙරිකාව වැඩි අවධානයක් යොමු කර තිබේ.
අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor) දෙරට අතර සබඳතා යළි පණ ගැන්වීමට විශාල වෙහෙසක් දරමින් සිටියි. කෙසේ වෙතත්, ඉන්දියාව සහ අමෙරිකාව අතර නිම නොකළ පුළුල් වෙළඳ ගිවිසුම් සහ ට්‍රම්ප් පාලනය විසින් ඉන්දියානු භාණ්ඩ මත පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් පවතින මතභේද නිසා දෙරට අතර පවතින වෙළඳ සබඳතා තවමත් ස්ථාවර මට්ටමකට පැමිණ නැත.
එමෙන්ම චීනයේ බලපෑමට එරෙහිව පිහිටුවා ගත් ‘ක්වාඩ්’ (Quad) කණ්ඩායමේ ඉහළ මට්ටමේ නායක හමුවක් පැවැත්වීමට ඉන්දියාව කළ ඉල්ලීම්වලට අමෙරිකාවෙන් තවමත් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විචාරකයින් පෙන්වා දෙයි. ඉදිරි සතියේ දිල්ලියේදී පැවැත්වෙන ක්වාඩ් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුව ද නායක මට්ටමේ සාකච්ඡාවකින් තොරව සිදුවීම, කණ්ඩායමේ වැදගත්කම යම් පසුබෑමකට ලක්වීමක් ලෙස දේශපාලන විශ්ලේෂකයන් සලකයි.














