ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ වී පොලිසියෙන් බේරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) පලා ගොස් සැඟවී සිටි ලාංකික අපරාධකරුවන් විසි එක් දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ. මෙම පිරිස ඩුබායිහිදී විශේෂ මෙහෙයුමකින් කොටු කරගෙන ඇත්තේ මැදපෙරදිග කලාපීය යුද සමයේදී භාවිත කළ අතිශය රහසිගත ඩ්‍රෝන යානා, මිසයිල පද්ධති සහ ආරක්ෂක උපායමාර්ගවලට අදාළ වීඩියෝ මෙන්ම ඡායාරූප රැසක් ඔවුන් සතු ජංගම දුරකථන තුළ රහසිගතව තබාගෙන සිටියදීය. එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි ඔත්තු බැලීමේ සහ තහනම් දර්ශන ළඟ තබාගැනීමේ චෝදනා මත ඔවුන්ව එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස මෙරටට එවා ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට රැගෙන ආ මෙම අපරාධකරුවන් පිරිස වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ බුද්ධි අංශ භාරයට ගෙන ඇති අතර, ඔවුන් මැදපෙරදිග යුද රහස් එකතු කළේ කුමන අරමුණකින්ද සහ ඒවා ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලි වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබුණේ ද යන්න පිළිබඳව දැන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. ලංකාවේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් වන මොවුන් ඩුබායි රාජ්‍යය සිය ආරක්ෂිත තිප්පලක් කරගනිමින් මෙරට අපරාධ මෙහෙයවීමට අමතරව, මෙවැනි ජාත්‍යන්තර ආරක්ෂක රහස්වලට අතපෙවීම පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ද දැඩි කනස්සල්ල පළ කරයි. මේ වන විට ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින අතර, ඔවුන්ව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.















