අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ අතර දුරකථන සංවාදයක් පැවැත්විය හැකි බවට ජනාධිපති ට්‍රම්ප් ඉඟි පළ කළ ද, ඒ සඳහා මෙතෙක් කිසිදු නිශ්චිත සැලසුමක් සකස් කර නොමැති බව වාර්තා වේ. තායිවානයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම දුරකථන ඇමතුම ලබාගන්නා බව ට්‍රම්ප් ප්‍රකාශ කළ ද, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එවැනි ඇමතුමක් ලබා ගැනීම පෙර නොවූ විරූ මෙන්ම අමෙරිකා – චීන සබඳතා බරපතළ ලෙස අවදානමට ලක්විය හැකි කටයුත්තකි.
චීනය තායිවානය තමන් සතු භූමියක් ලෙස සලකන බැවින්, අමෙරිකානු සහ තායිවාන නායකයින් අතර මෙවැනි සෘජු සන්නිවේදනයක් සිදුවුවහොත් එය දෙරට අතර ඇති රාජ්‍ය තාන්ත්‍රික බැඳීම්වලට විශාල බලපෑමක් වනු ඇත. 1979 වසරේදී අමෙරිකාව තායිවානය වෙනුවට චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගීමෙන් පසු මෙවැනි සෘජු සංවාද සිදු වී නොමැත. චීනය පෞද්ගලිකවම අමෙරිකාවට අනතුරු අඟවා ඇත්තේ මෙවැනි දුරකථන ඇමතුමක් දෙරට අතර පවතින සබඳතා පළුදු කරනු ඇති බවයි.
පසුගිය සතියේ පැවති චීන-අමෙරිකා රාජ්‍ය සංචාරයේදී ජනාධිපති ෂී ජින්පින් විසින් ට්‍රම්ප් වෙත මේ සම්බන්ධයෙන් දැඩි අවවාදයක් ලබා දී තිබුණි. තායිවානයට අමෙරිකානු ආයුධ අලෙවි කිරීම පිළිබඳව ද ජනාධිපති ට්‍රම්ප් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, චීනය පසුගිය සිකුරාදා නැගෙනහිර ආසියාව හරහා නාවික සහ වෙරළාරක්ෂක යාත්‍රා 100කට අධික සංඛ්‍යාවක් යොදවමින් සිය මිලිටරි බලය ප්‍රදර්ශනය කළේ අමෙරිකාවට අනතුරු ඇඟවීමක් ලෙස බව දේශපාලන විශ්ලේෂකයින් පවසයි.














